කල් ඉකුත් වූ ආයුර්වේද ඖෂධ ඇතුළු භාණ්ඩ ගබඩා කළ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්

කල් ඉකුත් වූ ආයුර්වේද ඖෂධ ඇතුළු භාණ්ඩ ගබඩා කළ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්

August 4, 2026   10:30 pm

කල් ඉකුත් වූ ආයුර්වේද ඖෂධ සහ ආලේපන ඇතුළු භාණ්ඩ ගබඩා කළ කොළඹ 13 ප්‍රදේශයේ පුද්ගලික සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

තවද එම භාණ්ඩ තොගය විනාශ කිරීමටද අධිකරණය නියෝග කර ඇත.

කල් ඉකුත් වූ ආනයනික ආයුර්වේද ඖෂධ විකිණීම සඳහා අනෙකුත් භාණ්ඩ සමග ගබඩා කිරීම, ඒවා විනාශ කිරීම සම්බන්ධව ලේඛණ පවත්වා නොගැනීම සහ උපරිම සිල්ලර මිල හෝ ආනයනකරුගේ තොරතුරු සඳහන් නොකළ ආයුර්වේද ඖෂධ, සුවඳ සබන් සහ ආලේපන වර්ග සන්තකයේ තබා ගැනීම මගින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීති රීති සහ විධානයන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සමාගමට එරෙහිව මාලිගාකන්ද අධිකරණය හමුවේ චෝදනා 05ක් යටතේ නඩු පවරා තිබුණි.

පසුගිය මැයි මස 20 වැනි දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම ආයතනයේ තිබී කල් ඉකුත් වූ ආයුර්වේද ඖෂධ කැප්සියුල හා පෙති 640කට අධික ප්‍රමාණයක් සොයා ගනු ලැබීය.

තවද නිසි ලේබල්, තොරතුරු නොමැති සබන්, ෂැම්පු වර්ග, හිස් ආලේපන ඇතුළු ආලේපන හා අනෙකුත් නිෂ්පාදන 280කට අධික ප්‍රමාණයක්ද මෙහිදී සොයාගෙන තිබූ අතර සමස්තයක් ලෙස භාණ්ඩ 920කට ආසන්න තොගයක් එහිදී මුද්‍රා තැබීමට ද පියවර ගැනුණි.

අද (04) දින මෙම නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම සහ එහි අධ්‍යක්ෂවරයා එල්ල වූ චෝදනා 05ටම වරද පිළිගනු ලැබීය.

ඒ අනුව අධිකරණය විසින් විත්තිකරුවන් දෙදෙනාට එක් චෝදනාවක් සඳහා රුපියල් 10,000 බැගින් දඩ මුදලක් නියම කළ අතර සමස්තයක් ලෙස රුපියල් ලක්ෂයක දඩ මුදලක්ද නියම කෙරිණි.

ඊට අමතරව අදාළ ඖෂධ, ආලේපන සහ අනෙකුත් භාණ්ඩ තොගය වහාම විනාශ කර දමන ලෙසද අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

අධිකාරිය සඳහන් කළේ මහජනතාවගේ සෞඛ්‍යයට හානි කළ හැකි කල් ඉකුත් වූ ඖෂධ, බාල ප්‍රමිතියේ ආලේපන හෝ අනිවාර්ය තොරතුරු සඟවා නීතිවිරෝධී ලෙස භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දීමට හැකියාවක් ඇති බවය.